සිනමා නිධන් වදුලක් වූ නිධානය
ලෙස්ටර්ගේ දෑස නිසා ( 1975 ) , අහසින් පොළොවට ( 1978 ) , මඩොල් දූව ( 1976 ) යන චිත්‍රපටි තුන ද හැත්තෑව දශකය
තුළ තිරයට පැමිණීම විශේෂත්වයක් වුවද ,ඒ චිත්‍රපටි කිසිවක් ලෙස්ටර්ගේ ඉදිරි ගමන සනිටුවන්
නොකළේය.“අහසින් පොළොවට” චිත්‍රපටියෙන් ලෙස්ටර් ස්වකීය
සිනමා භාවිතාවේ අනන්‍යතාවය රැක ගන්නට ලැබුණද “දෑස නිසා” සහ “මඩොල්දුව” තුළ ඒ කිසිවක් දක්නට නොවීය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ “නිධානය” තිරයට පැමිණීම හැත්තෑව දශකයේ සිනමාව
තුළ උත්කර්ෂවත් ම සිදුවීම ලෙස කැපී පෙනේ .ලාංකීය සිනමාව නව මාවතකට යොමු කළ
පුරෝගාමියා වූ ලෙස්ටර්ගේ චිත්‍රපටි අතරින් විශිෂ්ටතම නිර්මාණය හැටියට සැලකෙන්නේ
නිධානයයි .
ජි.බි සේනානායකගේ නිධානය කෙටිකතාව
ඇසුරින් නිර්මාණය කල “නිධානය” චිත්‍රපටයේ තිර නාටකය තිස්ස
අබේසේකරයන්ගේ ය.තිස්ස අබේසේකරයන්ගේ මෙම තිරනාටකය ද නිධානය
විශිෂ්ඨ නිර්මාණයක් වීම කෙරෙහි බලපා තිබේ.තිර නාටකය සකස් කිරීමේ දී
කෙටිකතාවේ එන චරිත වඩාත් පුළුල් ලෙස විකාශනය කිරීමට තිස්ස අබේසේකර ස්වකීය අපුර්ව
පරිකල්පනය ද මෙහෙයවා ඇති සැටි දැකිය හැකිය. චිත්‍රපටිය නැරඹීමට පෙර කෙටි කතාව
කියවා තිබේ නම් චිත්‍රපටියට සුළු සුළු වෙනස්කම් සිදුකර ඇති බව වැටහේ.කෙටිකතාකරුවන් අතරින් විශිෂ්ටතම
කෙටිකතාකරුවකු වන ජි.බි සේනානායක මහතාගේ නිධානය වැඩි වශයෙන් කතාබහට
ලක් වුවකි.කෙටි කතාව වූ කලී යම් කිසි සිද්ධියක් හෝ යම්
චරිතයක් පාදක කරගනිමින් රචිත එක හුස්මට කියවා හමාර කලහැක්කකි.එවැන්නක් චිත්‍රපටියකින් වැනි
විශාල මාධ්‍යයකට නැගීමේ ගෞරවය මෙහි තිර පිටපත ලියු තිස්ස අබේසේකරයන්ට ද හිමිවන්නේය.
ලෙස්ටෙර් කලාකරුවාණන් තමාගේ අනෙක්
චිත්‍රපටි හරහා කතා කලේ මිනිස් ජිවිතයේ බාහිර තාත්විකත්වයයි.නමුත් නිධානයේ ඉන් ඔබ්බට ගොස්
මිනිස් සිත පතුලට ම පිවිස එහි අඳුරු අහුමුලු ගවේෂණය කරයි.නිධානය කෙටිකතාවට පෙරවදනක් ලියන ජි.බි සේනානායකයන් එහිදී දක්වන්නේ මිනිමරුමට
තරම් සාහසිකයෙකු වුවකුගේ සිතේ ඇති හැඟීම් හෙළි කිරීම බවයි.නමුත් නිධානය සිනමාපටය නරඹන ප්‍රේක්ෂකයන්ට
මෙහි ප්‍රධාන චරිතය වූ වීලි පිලිබඳ අනුකම්පාවක් ජනිත වනු ඇත.
චිත්‍රපට තිරය මත දිග හැරෙන්නේ
ඉනික්බිතිව එය ක්‍රමික ව විකාශනය වන්නේ විලිගේ ආත්ම කථනයක් ලෙසිනි.
“මේ වෘතාන්තය කෙසේ පටන්ගත යුතු දැයි
මම නොදනමි.පසුගිය කාලය තුළ සිදු වූ හැමදෙයක් ම සිදු වූ
අනුපිලිවෙලින් මම සිහිපත් කරමි.එහෙත් ඒ සිදුවීම් මා මතකයට නැගෙන්නේ එවන් කාල
රටාවකට නොවේ.එය එලෙසට ම ඔබට විස්තර කළහොත් එය අගක් මුලක්
නැති නන්දෙඩවිල්ලක් යැයි ඔබ සිතනු ඇත.ඔබ කුමක් සිතුවත් මට ඉන් ඇති ඵලය කුමක්ද? මා උත්සහා කරන්නේ ඔබට කතන්දරයක්
කීමට නොවේ.මා සිත අරක්ගත් බරකින් නිදහස් වීමටයි.ඉන් පසු මම දැන් සිටින කාමරයේ
පරාලයක ගැටගසා ඇති ලණුවේ එල්ලී දිවි තොර කර ගනිමි.”
මේ ආත්ම කථනය ඇරඹෙන්නේ චිත්‍රපටියේ
ආරම්භයේ දී වුවද සැබවින් ම එය සියලු සිදුවීම් අවසානයේ දී යළි වලව්වට පැමිණෙන විලි
අබේනායක කරන පාපොච්චාරණයකි.චිත්‍රපටිය අවසන් වන්නේද මේ ආරම්භක දර්ශනයට ඡවීමෙනි.
විලි අබේනායක යනු අභාවයට යන රදළ පරම්පරාවකින් පැවත එන්නකි.හෙතෙම එම පරම්පරාවේ අන්තිම පුරුක ද වන්නේය. “නිධානය” මේ පුද්ගලයා මුහුණ දෙන ඛේදවාචකය වටා ගෙතුනකි.රදළ පරම්පරාවක අවසානයක් වන විලි අබේනායක නොහොත් විල්ප්‍රඩ් අබේනායකගේ පියා මියගොස් ඇත්තේ ණයකරුවකු වීමෙනි.මේ පරම්පරාවට ඉතිරිව තිබුණේ විලිගේ නමට ලියු වලව්වත් එය පිහිටි වත්තත් පමණි.ණය ගෙවන්නේ පරම්පරාවේ තත්වයට අනුව ජිවත් වන්නේ රජයේ කොන්ත්‍රාත් වැඩ කිරීමෙනි.ණය ප්‍රමාණය වලව්ව විකුණා ගෙවිය හැකි නමුත් පියා මිය යෑමට පෙර විලි වූ පොරොන්දුව මත එවැන්නක් කල නොහැකිය.විලි ටයිකෝට් අදින කෙනෙකු වුවත් මිත්‍යා මත කෙරෙහි දැඩි විශ්වාසයක් පවතින බව චිත්‍රපටියේ දී පාලමක් ඉදිකරන අවස්ථාවේ දෙවියන් සතුටු කිරීමේ ක්‍රමයක් ලෙස සිදු කරන කුඩා ශාන්තිකර්මයෙන් වැටහේ.මින් ගම්‍ය වන කරුණක් හා නිරුපණය කරන සංකේතාත්මක විවරණයක් වන්නේ මෙරට ජිවත් වන බොහෝ උගත් මධ්‍යම පන්තික සහ ධනවත් පන්තිය බටහිර පන්නය බාහිර අටෝපයට හා බටහිර සංකල්පයන් තමා වෙත සමීප කරගෙන සිටිනු ලබන්නේ බාහිර වැස්මක් ලෙස පමණි.නමුත් අභ්‍යන්තරයෙන් ආසියාතික සංස්කෘතික රාමුව තුළ සිරවී කල් ගෙවන්නේය.එය බාහිරට පෙන්වීමට අකමැත්තක් දැක්වුව ද තම චිත්ත අභ්‍යන්තරය තුළ කිඳාබැස ඇත්තේ එම අවිඥානික මිථ්‍යාවයි.
දිනක් පුස්කොලපතක නිධානය පිලිබඳ
සඳහන් වන අතර එය ලබා ගැනීමට නම් බෙල්ලේහි
සහ නිකටේහි එක පෙලට කුඩා ලප දෙකක් පිහිටි යුතු බව සඳහන් වේ.මෙවැනි ස්ත්‍රියක් සොයා වෙහෙසෙන
විට දිනක් තොටුපොළ අසල දී මුණගැසේ.අයරින් දුටු සැනින් ඇය විවාහ කර ගැනීමට තීරණය
කරගන්නා විලි මාස දෙකක් වැනි කුඩා කාලයකින් අයරින්ව විවාහ කරගන්නා නමුත් ඇය හා
ලිංගිකව එක් නොවේ.විවාහය මුලදී ඔහුට අයරින් පිලිබඳ ව ආලයක්
නොතිබු බවට නිගමනය කල හැකිය.පුද්ගල චෛතසිකය තුළ ඇති වන මානුෂිය හැඟීම් භෞතික
අවශ්‍යතාවයන් මත මිනිසුන් විසින් ම යටපත් කරගන්නා ආකාරය මින් සංකේතවත් වේ.
කිසියම් පන්තියක ගාර වැටීම ඒ
පන්තිය නියෝජනය කරන පුද්ගලයාගේ පැවැත්ම කෙරෙහි බලපත්වයි.එවිට පුද්ගලයා ස්වකීය පැවැත්ම
රැකගැනීම සඳහා කරන අරගලය තමන් ජිවත් වන ප්‍රයෝගික සමාජය හා ගැටෙයි.මේ අරගලයේ දී පවතින සමාජයට අනුගත
වන්නට නොහැකිවීමෙන් පුද්ගලයා එකී සමාජයේ පරාරෝපණය වේ.විලි අබේනායක ගොදුරු වී සිටින්නේ ද
මේ පුද්ගලයා පරාරෝපණයටයි.ඔහුගේ පියා මිය ගියේ ණයතුරුස් වීම ඔහුට උරුම කර
දෙමිනි.ඒ නිසා ඒ සියල්ල ගෙවීමට සිදු වන්නේ විලිටය.එහෙත් ඔහුට ඒ සියලු ණයතුරුස් ගෙවීමට
තරම් ආදායමක් නැත.වලව්ව විකිණීමෙන් ණයතුරුස් වලින් කොටසක් ගෙවිමට
හැකි වුවද එය කල නොහැකි වන්නේ පියට දුන් පොරොන්දුව මතය.
විලි අබේනායක ද ජිවත් වන්නේ මිය
ගිය අතීතය සමඟය.වර්තමාන යථාර්ථය ඔහුට නුහුරුය.වර්තමනයේ දෙපරුවාගෙන ජිවත් වන ඔහුට
සැබැවින් ම අතීතයේ හා වර්තමානයේ හෝ නිසි පැවැත්මක් නොමැත.එහෙයින් ඔහුගේ හැසිරීමේ දකින්නට
ලැබෙන්නේ ගූඪ ස්වභාවයකි.
චිත්‍රපටයේ තිර නාටකය ආත්ම කථනයක්
ලෙස යොදා ගැනීම නිසා විලිගේ මේ ගූඪ ආත්මයේ ස්වභාවය සියුම් ව විදීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට
ලැබේ.චිත්‍රපටියෙහිලා යොදා ගැනෙන ඇතැම් සිදුවීම් හා
දර්ශන ද විලිගේ ගූඪ මනෝභාවයන් මෙන් ම ඔහු අතින් සිදූ කෙරෙන අනාගත ඛේදවාචකයන්
සංකේතවත් කරයි.
“බලාගෙන ඇත දන්නෙපා.ලස්සනය සතා උනාට හරිම නපුරුයි.අවුරුදු දෙකක් ඌත් එක්ක හිටපු
ගැහැණු සතාව කිසි කාරණයක් නැතුව දවසක් කොටලා මාරුවා.බැල්මට කොයිතරම් ලස්සන සතෙක් ද? මේ වගේ කුරිරු වැඩක් කරයි කියලා
හිතන්නවත් බැ” විලිගේ මේ ප්‍රකාශය ඔහු විසින් අනාගතයේ දී සිදු
කරන මහා ඛේදවාචකයේ වාචික පුනර්රූපණය ලෙස හැඳින්වීය හැක.ඔහු කෙතරම් ප්‍රියමනාප බටහිර
පන්නයේ මිනිසෙකු ලෙස පිටස්තර සමාජයට පෙනී සිටියද ඔහුගේ අරමුණ ඉටු කර ගැනීම උදෙසා
ඔහුගේ මෙම අමානුෂික වෑයම ප්‍රේක්ෂකයාට කූඩුවේ සිටින මොනරාගේ ක්‍රියාකලාපය ඔහුගේ
භාෂණයෙන් ම විස්තර කිරීම තමා තමන්ගේ සිතේ පවතින ක්‍රියාව පුර්වකථනය කිරීමකි.
“මොනරාගේ නියම ස්වභාවය තිබෙන්නේ උගේ
ලස්සන පිල් වල නෙවෙයි.උගේ මුසල කටහඩේ.ඒ නාදයට නයින්ගේ බිත්තර පුපුරනවලු”
විලිගේ මේ ආත්ම භාෂණය තුළ ද ගැබ්ව පවතින සංකේතය
නම් බටහිර රදළයකු ලෙස සැදුනු සත්ගුණවත් ප්‍රතිරූපයක් පිටට මවාගත් ඔහුගේම චිත්ත අභ්‍යන්තරයේ
ඇති ඡාගර ස්වභාවය නිරුපණය කිරීමෙකි.කෙතරම් සත්ගුණවත් ලෙස අයරින් ඉදිරියේ ජිවත්
වුවද තමාගේ වලව්ව සින්න වීමට ඉඩ හැරීමට ඇති දැඩි අකමැත්තත් , තවමත් රදළ පැලැන්තිය තුළ ජිවත්
වීමට ඇති කැමැත්තත් නිසාත් තම අරමුණ වූ නිධානය ලබා ගැනීමේ අරමුණ මෙම මොනරාගේ කටහඩේ
නාදයට සමාන කිරීමක් ලෙස විවරණය කල හැක.ඒ චිත්ත අභ්‍යන්තරයේ ඇති අරමුණ බාහිර ලෝකයට
පිටස්තර රදළ වලව් ආවරණය නිසා නොපෙනුන ද මොනරාගේ කටහඩේ මුසල බව තරම් මුසලය.මොනරාපිලිබඳ ව කරන විග්‍රහයට අමතරව
උගේ මුසල කෑගැසීම ද චිත්‍රපටියේ අවස්ථා දෙකකදීම යොදා ගැනේ.වරක් විලි උදේ ආහාරය ගනිමින් සිටින
අතරතුර එක අතකින් පිහියක් ගෙන පිරිමදියි.පසුබිමින් මොනරාගේ මුසල කටහඩ ඇසේ.තව වරක් නිවසේ මෙහෙකරු ඔහු විසින්
මාර දමන ලඳ කුකුළකු අතැතිව සිටිනු පෙනේ.ඒ අවස්ථාවේදී ද මොනරාගේ මුසල කටහඩ ඇසේ.මේ අවස්ථා දෙක ද සිදුවන්නට ඇති
අනාගත ඛේදවාචකය සංකේතවත් කිරීම සඳහා යොදා ගත් සැටි පැහැදිලි වෙයි.
ජී.බි සේනානායක විලි ගැන කියන්නට
උත්සහා ගත්තද ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ චිත්‍රපටිය තුළින් විලි අබේනායකගේ චරිතය
අභිබවා නැගී සිටියේ විලි නොව අයරින් සහ අයරින්ගේ සිත තුළ ඇති නොසන්සුන්බවයි.ජී.බි සේනානායකගේ කෙටිකතාව කියවන
පාඨකයාත් ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටිය නරඹන ප්‍රේක්ෂකයාත් විලි ගැන දන්නා
තරම්වත් අයරින් දැන සිටියේ නැත.අවම වශයෙන් එම පාඨකයා හා ප්‍රේක්ෂකයා අයරින් ගැන දන්නා තරම්වත්
අයරින් දැන සිටියේ නැත.තමා විශාල රැවටීමකට අසුවී ඇති බවත් අයරින් දන
සිටියේ නැත.තාන්න මාන්න, සැප සම්පත් බලාපොරොත්තුවෙන්
පැමිණුනු අයරින්ට සිදුවුයේ පැටලෙන නූල් බෝලයක පැටලී යන්ටය.
තිස්ස අතින් නැවත ඉපදුනු අයරින්
එතරම් ප්‍රබල වුයේ අයරින්ගේ අධ්‍යාත්මය තිස්ස හොද හැටි හඳුනාගෙන තිබුණු නිසාවෙනි.යස ඉසුරින් පිරුණු ජිවිතයක්
බලාපොරොත්තු පැමිණුනු අයරින්ට සිදුවුයේ ඇය කිසිසේත් නොසිතු දෙයකි.තමා ආ ගෙයද සින්න වන්නට යන බව
දැනුණු පසු ඇයගේ චිත්තවේග කොතරම් ද? ජී.බි සේනානායකගේ කෙටිකතාව පුරාවට ම අයරින් යනු
ඉතාමත් සානුකම්පිත චරිතයකි.ඇය කිසිවක් නොදැන විලි හා පැමිණියාය.කිසිවක් නොදැන විලි හා ජිවත් වුවාය.එලෙසෙම කිසිවක් නොදැන විලි අතින්
මිය ගියාය.අයරින්ට විලිගේ ගුප්ත බව පෙනුනද ප්‍රේක්ෂකයාට
පෙනෙන්නේ අයරිනුත් ගුප්තයි කියාය.එයට සාධාරණ හේතු තිබුණි.තමා විලිගේ විවාහක බිරිඳ වුවත් ඇය
විලි ලග සිටින්නේ තව මොහොතකින් මරන්නට යන කිකිළියක් ලෙසය.බිරිදක් ලෙස එම වලව්වේ ස්වාමි දුව
සේ එහි ඇයට ජිවත් වීමට නොහැකි විය.
සැබවින් ම නිධානය චිත්‍රපටියෙන්
කියවෙන්නේ ගරා වටෙන රදළ මතවාදී ආර්ථිකය යි.විලි ටයි කෝට් දීම,අශ්ව රථයෙන් ගමන් බිමන් යාම,වලව්ව රදළ වැඩවසම්වාදය නිරුපණය කරන
සංකේත වේ.අවසානයේ දී විලිගේ බලාපොරොත්තුව සුන් වී ඔහුට
දිවි තොර කර ගැනීමට සිතෙන තරම් අවස්ථාව රදළ බිඳ වැටීම නිරුපණය වන්නේය.චිත්‍රපටිය නැරඹීමෙන් අන්තිමේදී
සිදු වන්නේ කුමක්දැයි අයරින් මරා බිලි දුන්නාට නිධානයේ දොර ඇරේද යන කුකුස සංසිදවා
ගැනීමට මේ චිත්‍රපටිය නැරඹීමට වඩා ඒ පිලිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් නැරඹිය යුතුය.
ශ්‍රී ලංකේය මාක්ස්වාදී චින්තකයෙක්
වන සයිමන් නවගත්තේගම නිධානය චිත්‍රපටිය පිලිබඳ මෙසේ කියයි. “නිධානයේ විලි පිරිහීගෙන එන මනවාදයේ
සංකේතයත් , ආර්ථික හා මානව සම්බන්දතා විසිරි ගිය පවුලක
හුදකලා සාමාජිකයෙක් මෙම රදළ පැලැන්තියේ ජිවත් වන්නෝ අධිරාජ්‍යවාදී සුද්දන්ට මිත්‍රව
හා ගැතිව හිඳ ජාතිය දීනත්වය කරන්නේද යැපති.අලුතින් බිහිව ආ ධනවාදයට හා වෙමින්
රදලයන් වශයෙන් පෙර භුක්ති විදි සමාජ බලය ධනවාදී සමාජ රටාව තුලද සාර්ථක ලෙස භුක්ති
විදිති.විලි මෙම සමාජ විපර්යාසයට මුහුණ දිය නොහැකිව
දැඩි මනෝ ලෝකයක හුදකලා වීම නිසා රෝගී විය.පාරම්පරික මිත්‍යා විශ්වාසයන්ට
ගොදුරු විය.වැඩවසම් ක්‍රමය , පුද්ගලිකත්වය හා ඊට අනුබද්ධ වරප්‍රසාද
හා ධනය පරම්පරාවෙන් නිරුත්සාහයෙන් ලැබෙයි.මෙම වැඩවසම් ක්‍රමය මත සකස් වුණු
නිරුත්සාහී මානසික ජිවන රටාවද ඒ තුළ නිරුත්සාහයෙන්පොසතකු වීමට නිධානය කෙරෙහි
විශ්වාසය තබයි.
එක් අතීත යුගයක නරබිලි සඳහා ඇරෙන නිදන් දොරටු විවෘත කරන බහිරවයන් ධනවාදී ඩයිනමයිට් වලින් විනාශ වී ගොසිනි.රදළවාදය මැඩ නගින ධනවාදයට ධනවාදී අලුත් උපක්‍රම වලින් එක් වීමට අපොහොසත් වන එක් රදළ කොටසකගේ අවාසනාවන්ත ඉරණම විලිගේ ඛේදජනක අත්දැකීම් තුළ සංකේතවත් වෙයි.
සමස්ථ නිධානය තුළ ම දිගහැරෙන
විවරණය වන මුල බිජාත්මක සංසිද්ධිය වනාහි බාහිර වශයෙන් නියම ශිෂ්ටාචාරගත මිනිසා තුළ
දැකිය හැක්කේ ඉතා අශිෂ්ටාචාරවත් මිනිසෙකි.අයරින් කෙරෙහි ඇති වන ආදරයටවත්
වැළක්විය නොහැකි අශිෂ්ටාචාරවත් බවකි.ඒ දේශීයත්වයේ අගතින් පිලිබඳ විශ්වාසය එනම්
නිදන් හා බහිවරයන් පිලිබඳ විශ්වාසය නිසා විලි අබේනායක අතින් ඝාතනය කෙරෙන්නේ
වර්තමානයේ ඇති පිවිතුරුම නිධානයයි.විලිගේ අනාගතය වෙත යහපත් මාවත අයරින් ඔස්සේ දැනටමත්
විවෘත වි තිබෙද්දිත් ඔහු තැත් කරන්නේ නොදන්නා අතීත සම්පතක් වෙත නොදන්නා දොරක්
විවෘත කිරීමටයි.ඒ අතින් මේ කෘතිය යටත් විජිතයක් සීමාන්තික
ජාතිකවාදයත් එකවර හෙළිදරව් කරන කෘතියකි.නියම පශ්චාත් යටත් විජිතකලාව විජිතවදියගේ
අධිරාජ්‍යවාදයත් ජාතිකවදියගේ ජාතිවාදයත් එකවර ප්‍රතික්ෂේප කරයි.
සමස්ත නිධානයෙන්විවරණය වන බහු
තේමාත්මක කාරණා වෙන් වෙන් වශයෙන් ව සම්පත් ලෙස ගෙන අප විසින් කියවා අප හමුවේ යළි
විවර විය යුත්තේ ඒ නිසාය.